29 May 2013

මිනිත්තුවකි ජීවිතය



මම සහන්!
මම කතාවක් කියන්නම්!

එකෝමත් එක කාලෙක, සුරූපී සුරඟනක් වාසය කලා! මේ සුරඟනට හොර රහසින් පෙම් බැන්ද පුංචිම පුංචි වවුල් පැටියෙක් හිටියා! සුරඟන යන එන විදිහ, ඇගේ කතාව, හිනාව දිහා ඌ හොර රහසේ බලා හිටියේ හරිම ආදරයෙන්! "මම පියාඹන්නේ ඇය වෙනුවෙන්" ඒ ඌ පියාඹන්න කලින් හිතන දේ! "මම කෑම කන්නේ ඇය වෙනුවෙන්" ඒ ඌ ආහාර ගන්න කලින් හිතන දේ! කරන හැම දෙයකටම, සිද්ධවෙන හැම දෙයකටම සුරඟනව කොහොමහරි සම්බන්ධ කරගත්තා ඌ!

අවුරුදු ගණනාවකට පස්සේ, වවුල් පැටියා තීරණය කලා, උගේ ප්‍රේමය සුරූපී සුරඟන ඉදිරියේ පවසන්න! ඒත් සුරඟනගේ ප්‍රතිප්‍රේමය, ඌට සිහිනයක්! කොහොම උනත්, ඌට සුරඟනගෙන් තොර වෙනත් ලොවක් නොතිබුණු නිසා, ඌ එක් දිනක් උදයේම හිතට හයිය අරන් සුරඟන සිටි දිහාවට පියෑඹුවා! වවුල් පැටියා පියාඹාගෙන එන හැටි ඈත තියාම දැක්ක සුරූපී සුරඟන, ඇගේ හිරිපොද වැස්සක් මෙන් සිහිල් හිනාවෙන් ඌව පිළිගත්තා! සුරඟන අසලින් හිඳගත්තු වවුල් පැටියාගේ පුංචි හදවත වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තේ වෙන කවරදාකවත් නැති විදිහට!

"ලොව ඇති පිරිසිදුම හදවත හිමි
සුරූපී සුරඟන වන ඔබට,
මේ කාරණය පැවසීමට
මා තරම් නොවන බැව් දනිමි!
නමුදු, දෙනු මැන අවසරය,
සුරඟන මදකට!"

ඌ උගේ බොහොම සියුම් සහ ගැහෙන සුළු කටහඬින් එලෙස පැවසුවා! වවුල් පැටවාගේ කාරණය පැවසීමට අවසර දෙන බැව් අඟවමින් සුරඟන හිස වැනුවා! ගද්‍යයෙන් පවසනු වෙනුවට, වවුල් පැටවා දෙනෙත් පියා, ඉතා මිහිරට ගීයක් ගයා පැවසූවා, තම හිත පුරාම වෙලී පවතින සුවිසල් ප්‍රේමය පිළිබඳව! නිහඬ බව පිරුණු වටපිටාව මධ්‍යයයේ, වවුල් පැටවාගේ සියුම් හඬ හොඳින් ඇසුනා! ගීය අවසානයේ ඌ හෙමින් දෙනෙත් ඇරියා! සුරඟනගේ සිනහව අතුරුදහන් වී තිබුනා! ඈ පුදුමයෙන් ද කෝපයෙන් දැයි වවුල් පැටවාට තේරුම් ගන්න අසීරු වුණා! සැබැවින්ම සුරූපී සුරඟන සිටියේ කිසිම දෙයක් තෝරාගත නොහැකි තරම් පුදුමයෙන්! ජීවිත කාලය පුරාම අපේක්ෂා කරපු දෙයක්, තමන් ඉදිරියට කඩා වැටුණා වැනි හැඟීමක් ඇගේ හිතට එබිකම් කරමින් තිබුණා! සිතෙහි ඇතිවුණු වික්ෂිප්ත බව නිසාම, ඇගේ මුහුණින් කිසිදු හැඟීමක් පිටවූයේ නැහැ!

අවුරුදු ගාණක් රහසින් ගොඩනඟපු මහත් වූ ප්‍රේමය සුරඟන ඉදිරියේ පිටකරපු වවුල් පැටවාගේ හිතට දැණුනේ අසීමිත සැහැල්ලුවක්! ඒත් ඒ අතරේම මහත් වූ කණගාටුවකින් හිත වෙලී යන බව ඌට දැණුනා! තම සිහිනය සිහිනයක්ම පමණක් බැව් දැණුනු නිසා, ඌ ආපසු යන්න හැරුණා! මඳක් දුරක් ඇවිදගොස් පියෑඹීමට පෙර, ඌ නැවත සුරඟන දෙසට හැරුණා! ඌ නැවත ගැයුවා! ඒක ප්‍රේමය, පරාජය, බිඳුණු බලාපොරොත්තු සහ හීන මුසු වෙච්ච සංවේදී ගායනයක්!

"සුරූපී සුරංගනාවියනි!
නුඹේ,
කල්පිත ප්‍රතිප්‍රේමය වෙනුවෙන්
මා සූදානම්,
මගේ දිවියම
නුඹේ සුවඳැති
ශ්වේත පා මතපුද කරන්නට!

සුරූපී සුරංගනාවියනි!
නුඹේ,
කල්පිත ප්‍රතිප්‍රේමය..
කෙතරම් මිහිරියි ද එය!
දනිමි එය මට
නොලැබෙනා බව!

නමුදු උපකල්පනය කරනෙමි!

සුර අඟන නුඹ
පෙම් කලොත් මට
නුඹේ පිරිසිදු
මුළු හිතින්...

සුර අඟන නුඹ
පෙම් කලොත් මට
තැනින් උපදින
හදෙහි ජීවය...

සුර අඟන නුඹ
පුද කලොත් මට
පරම සත්‍යැති
ප්‍රේමයක්...

හකුළවමි මම
මගේ මුළු දිවි
සැණින් ගෙවෙනා
මිනිත්තුවකට!!"

එසේ කියා වවුල් පැටවා තම කඳුළු රූරා වැටෙන දෙනෙත සුරඟනගෙන් වෙන් කොට, පියඹා යන්නට වුණා! සුරූපී සුරඟනගේ දෙකම්මුල් හරහා ඇඳෙන ද්වී කඳුළු රේඛාව ඌ දුටුවේ නෑ! ඌ සුරඟනගෙන් ටිකෙන් ටික ඈත් වෙමින් පියෑඹීම සිදු කරමින් සිටියා! සුරඟන කෑගැසුවා!

"කාල දෙනෙතැති වවුල් පැටව..
නුඹේ පෙමට පමණක් දෙවැනි වූ
විසල් ප්‍රතිප්‍රේමය
නුඹ සතුය අද සිට"

මේක ඇසුණු වවුල් පැටවාට සිහි එලවාගත නොහැකි වුණා! ගමන් මඟ ආපස්සට හැරවූ ඌ වේගයෙන් හුස්ම ගනිමින් සුරඟන දෙසට පියාඹා ගොස් ඇගේ ශ්වේත පා තුඩු මත හිඳගත්තා! ඌ උගේ තද කළු ඇස් වලින් සුරඟනගේ නිල් දෙනෙත් දෙස බැලුවේ මිහිමත කිසිම බලවේගයකට පරාජය නොකල හැකි ප්‍රේමයක් ඒ ඇස් වල පුරවාගෙන යි! ඇගේ දෙනෙත් පිළිබඳවත් පැවසීමට තිබුනේ එයම මිස වෙනෙකක් නොවේ!

එහෙත් කාටත් හොරෙන් මිනිත්තුව සම්පූර්ණ වුණා!
වවුල් පැටවාගේ කුඩා සිරුර, සුරූපී සුරඟනගේ ශ්වේත පා මත සදහටම නිසල වුණා!

කතාව ඉවරයි!
මම සහන්!
මම තවම ඉන්නේ
මිනිත්තුවක් ඇතුලේ!
TheSahan©
2013.05.28


02 May 2013

රණ්ඩුවක නටඹුන්ය


විදුලි ඇසිපිය හෙලා
වැස්සකට තටමනා
අහස්කුස නුඹ වගෙයි හිතෙනවා

ටිකක් ලොකු වැහි කැබලි
තරහින්ම අතහරින
දම්පාට ඇස් නුඹේ දිලෙනවා

විසිර ගිය හාත්පස
රණ්ඩුවක නටඹුන්ය
නුඹේ කට නැතිව ඉකි ගැසෙනවා

එපා කියනට එහෙම
එපා ආයෙම ඔන්න
මම සුළඟ වී නුඹව සිපිනවා
2013 අප්‍රේල් 22


22 March 2013

සේනා






අනුන් කොටවා
සතුට ලබනා

තැඹිලි පාටැති
යක්ෂ සේනා

2013 මාර්තු 21



14 February 2013

ආදරේ දිනේ



බූරු කොලයක කොණක
හැඳ තිබෙන සළකුණක
මිල උපරිමෙට නගින
ආදරේ දිනක් ඇත

රේඩියෝ වෙසඟනන්
ජීවිතේ බර මනින
අපට එය කියා දෙන
ආදරේ දිනක් ඇත

රෝස පැහැ පෙම්වතුන්
ඇඳක පැල්ලම් මතින්
ප්‍රේමයේ ඉම හොයන
ආදරේ දිනක් ඇත

හැමදාම ප්‍රේමයෙන්
හද පිරුණු මට - ඇයට
පයිසයක වැඩක් නැති
ආදරේ දිනක් ඇත

2013.02.14

17 January 2013

Hourse & the Tree


(සිතුවම විශාල කර බැලීමට පින්තූරය මත ක්ලික් කරන්න)


08 January 2013

ඇහෙන්නැතෝ!! :(



ජීවිතයේ මා විඳි ශාරීරික වේදනා අතරින්, මතක හිටින තරමේ එව්වා දෙකකි! කටට ගැසූ මැහුම් දෙක ද, ඇහි බැමට ගැසූ මැහුම් දෙක ද පරදවා මාගේ වේදනා ලොව කිරුළු පළඳින්නේ ඒ දෙකයි!

2004 වසරේ දහම් පාසලේ භක්ති ගීත පළාත් තරඟ තිබූ දිනට පෙර දින සෑදුණු හිසරදය ඉන් පළමුවැන්නයි! එදින, පුහුණු වීම් අතරතුර, පළාත් තරඟ සඳහා මහනුවර යෑමේ බලාපොරොත්තු සුන් කරමින් 10 ශ්‍රේණියේ සිටි සර්පිනා වාදකයා වූ මා හිසරදයෙන් ඇඹරෙද්දී, 6 වැනි ශ්‍රේණියේ සිටි, බැති ගී කණ්ඩායමේ කටකාරම, දඟකාරම සහ හුරතල්ම ළමා ගායිකාව වූ Nadia ද අසනීප වී වමනය කරන්නට වූයේ, “ඔබේ දුක මගේ ද දුකයි“ කියා අනාගතයේ දී අප දෙදෙනා විසින් මුමුණන්නට නියමිත වදන් වලට පූර්ව සළකුණක් තබනා ලෙසිනි! :D හිකි! හිකි!

දෙවැනි වේදනාව ඊයේ රාත්‍රියේ දී වින්දෙමි! ඒ සෙම තද වීමෙන් හටගත්, ඉවසා දරාගත නොහැකි තරම් වූ කනේ අමාරුවකි! නදියාගේ අස්වැසුම්, අම්මාගේ සිද්ධාලේප සහ තාත්තාගේ උණුවතුර සමඟ පැනඩෝල් හමුවේ පැය ගණනක් ඉවසා නින්දට ගියෙමි! කනේ වේදනාවෙන් මිදී, අද උදෑසන අවදි වූයේ වෙන දා මෙන්ම නදියාගේ ටැලිපෝන් කෝලයේ සද්දෙට ය! නමුත් සුපුරුදු නොකියා ටියුනය, පැරණි තැටි ධාවකයකින් ඇසෙන්නාක් මෙන් වූ නිසා, මොබයිල ෆෝනය කට් කර නින්ද පලවා හැර නැවත නදියා ඇමතුවෙමි! ඒ අතරතුර නැවතත් අසා සුපුරුදු ගීයක් ග්‍රැමෆෝනයකින් මෙන් ඇසෙන්නට විය! “පොඩ්ඩක් ඉන්න නදියෝ“යි මොබයිල ෆෝනයට කියා, අර ගීයට සවන් දුන්නෙමි! “ස්වර්ණවාහිණී..... ඔබේ නිවහනට එනවා...“ තවමත් ග්‍රැමෆෝන් හඬකි! වෙච්චි බය විල්ලට සාලයට දිවූ මට අම්මාගේ හඬ ඇසුනේද ග්‍රැමෆෝනයකිනි!

අහෝ! මගේ කනට මොකද්දෝ වී ඇත! දකුණු කනෙන් ඔරිජිනල් පිච් එකෙන් ඇහෙන ගීයම වම් කනෙන් පිච් අවුට් වී ඇසෙයි! උදේ වරුවේ තරමක ජොලියක් වූ මේ කර්ණ ඉෆෙක්ටුව දැන් වදයක් වී ඇත! හ්ම්!!